Tuesday, February 18, 2020

තවත් එක් ගමනක්...

මනාලිය ලෙස හැඩ වෙලා
මග දෙපස දද ලෙල දෙනා
තවත් ගමනක් යන්ට අවසර
පා යුගත් නොවැදම මෙදා...

මේ තරම් ඉක්මනට මෙගමන
සිතුවෙ නෑ මං කිසි දිනේ
පිටව ගිය මා නැතැයි සිතුවේ
ආයෙ නොඑනා බව මෙසේ...

නුඹේ කර පිට බරක් වෙන්නට
පැතුවෙ නෑ මං කිසි දිනේ
පවුලෙ බර කර දරා ගන්නට
ගිය ගමන කෙලවර වුනේ...

දමා යන්නට නොහැකි මුත් අද
යන්න යනවා ගොම්මනේ
යන්න කලියෙන් පොඩි සිනහවක්
දෑසෙ රදවන් වස්තුවේ...

බියක් නෑ මං තනිව යන්නට
මගේ ගැන දන්නවානේ
මගේ වස්තුව දමා යන්නේ
සලකපන් අයියණ්ඩියේ...

Saturday, February 15, 2020

ආදරණීය රෝයි ගුරු පියාණනි...

ගුරු දිවි ඇරඹි දිනේ පටන්
දැනුම පොවා ගුණ යහපත්
වචනෙන් පවා මිණි ඔවදන්
සුවාසක් දරුවන් වෙනුවෙන්

කළ සේවය අති උතුමන්
සිත් නිවනා සංගීතෙන්
යහ මග වෙත මග කියමින්
දිවි ගෙවමින් සන්තෝසෙන්

අප වැනි දරුවන් වෙනුවෙන්
තිස් වසරක් ගෙවිලා දැන්
සිරස නමා වදිමින් මං
පතමි ඔබට දීඝායු මෙලෙසින්


Tuesday, February 11, 2020

මැවූ සුරපුරක සාපලත් කඩඉම...

ඇසට හොරහින් නිදි වරා
පොත් ගොඩක් වට කර එදා
වෙහෙසුනේ ඔබෙ මුවගට
සිනහවක් ගෙන එන්නයි අම්මේ
එදා මගෙ තනි මකන්නට
ඔළුව අතගා සනසන්නට
මගේ ලගම ඔබ සවියක්
වී සිටියා අම්මේ...

එහෙත් මං අද බෝඩිමක
කොටු වී බිත්ති හතරකට
නිදිවරා වෙහෙසෙනකොට
හිස බිමට කඩා වැටෙද්දි
අතගා සෙනෙහස් කැටි කොට
දැන් නිදා ගනින් පුතේ කියන්න
ඔබ මා ලග නැති බව වැටහෙද්දි
කදුළු රූරා වැටුන අම්මේ...

වස්තු ඔක්කොම ගම දාලා
සතුට සැනසුම එහෙ තියලා
මැවූ සුරපුර බලා ගන්නයි
මේ ගමන ආවේ
මං සාප කරනව
ජීවිතය ජය ගන්න කියල
ඒ කඩඉම සමත් කරල
ඇයි මාව මේ තැනට එව්වේ...


Monday, February 10, 2020

මගේ නොවන මගේම ආදරයක්...

මිතුදමට
එහා ගිය
තවත් එක්
බැදීමක්...
සගවන්නට
නොහැකි
අසීමාන්තික
සෙනෙහසක්...
අයිතිකරගන්න
වෙර දරන
හිමි නොවන
කතාවක්...
ඇහැරෙන්න
හිතෙන් නැති
ලස්සනම
හීනයක්...
මගේ යයි
කියන්න බැරි
මගේම
ආදරයක්...

Sunday, February 9, 2020

ආදරබර අම්මේ...

දස මසක් කුස තුළ හොවා
මා බිහි කළා මෙලොවට එදා
ඇග රුහිරු කිරි කර පොවා
හැදු වැඩුවෙ ඔබ මා රැක බලා

හෙමින් හිස පිරිමැද මගේ
එකම එක වදනින් නුඹේ
දහස් ගවු දුර ඉදන් වුව මගෙ
හිතේ ගින්දර නිම වුනේ

උපන් දා සිට දෝරෙ ගලනා
සෙනෙහසේ අඩුවක් නැතී
කදුළු කැට මගෙ කඩා එද්දී
පිස සිනහ ඔබ ගෙන දුනී

දිවිය යහ මග වෙත හොවා
ඔබ දුන්නු ඔවදන් පවා
වදිමි මව්තුම හිස නමා
පතමි දිවි මග එළි වෙවා