මොකක්ද අපි මේ කියන ලස්සන... ලස්සන කියන්නෙ පුද්ගලානුබද්ද දෙයක්. එකම දෙයක් දිහා එක එක්කෙනා දකින විදිය වෙනස්. මට ලස්සන දෙයක් තවත් කෙනෙක්ට කිසිම ලස්සනක් නැති වෙන්න පුළුවන්. අපි ඇසට දකින දේ අපේ මොළයෙන් වටහා ගන්නා ආකාරය අනුව අපි ඒ එක් එක් දේවල් ගැන තීරණ ගන්නවා. මිනිසාගේ ලස්සන ගැන කතා කරොත්, අද අපේ සමාජය මිනිසුන්ව කොට්ටාස දෙකකට බෙදනවා ලස්සන අය සහ අවලස්සන අය විදියට. මම ඒකට නම් තදින්ම විරුද්දයි. කෙනෙක් හිතාවි මම අනිවාර්යෙන් අවලස්සන කොට්ටාසයට අයත් කෙනෙක් වෙන්න ඇති කියලා. නෑ ඒක නෙමෙයි ඇත්ත මම ඔය කියන කොට්ටාස දෙකටම අයිති නෑ. ඇත්තටම මම ලස්සන කෙනෙක් නෙමෙයි. මගේ මේ තියන පෙනුම මට හොදයි. මගේ අම්මට, තාත්තට මම ගොඩක් ලස්සන ඇති. මට ඒ ඇති. එයාලගෙ සතුට කොතනද මම ඒ දේට එකග වෙනවා. ඒත් වෙන කිසිම කෙනෙක්ගෙ අදහසක් මට වැඩක්ම නෑ.
අද සමාජය දකින ලස්සන ගැන කතා කරොත් මිනිස්සු ලස්සනෙන් ගොඩක් දේවල් මනින්න තරම් පහත් මට්ටමකට වැටිලා. තමන් තවත් කෙනෙක්ට වඩා ලස්සනයි කියලා පුහු මාන්නයෙන් ඔළුව උදුමවාගත්ත අය අද සමාජයේ පිරිලා. මගේ මතය මේකයි. ලස්සන කියන්නෙ අපි මහන්සි වෙලා ලබා ගත්ත දෙයක්ද? නෑ නේද? ඇයි එහෙනම් අපි මේ නිකං ලැබිලා තියන දෙයක් නිසා බොරු ආඩම්බරකමක් මවාගෙන ඉන්න උත්සාහ කරන්නෙ. අපි මේ හිතන් ඉන්න ලස්සන කියන දේ එක තප්පර ගාණකින් නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. ලස්සන කියන්නෙ ස්ථිර දෙයක් නෙමෙයි. අපි ලස්සන නිසා උඩින් ගිය කෙනෙක් නම් අන්න ඒ දවසට අපිට සමාජයේ වෙසෙන්න අමාරු වෙයි. ඒකයි ඉස්සර සමාජයේ කියන්නෙ මැරෙනවයි කියලා දැනගෙන ජීවත් වෙන්න කියලා. අපි මහන්සි වෙලා ලබා ගත්ත උගත්කම වගේ දේකට නම් අපි ආඩම්බර උනාට කමක් නෑ. ඒකත් ඉතින් පිටට පෙන්නන්න අවශ්‍යම නෑ. හිත යට ඒ ගැන සතුටක් තිබ්බම ඇති. ඒත් තමන් ලස්සනයි කියලා නම් තුන් හිතකවත් අදහසක් තියා නොගන්නව නම් හොදයි. මොකද එහෙම උනාම ලස්සන නැති වෙලා ගිය දවසට අපිට හිත හදා ගන්න ලේසියි.
තවත් කතා කළ යුතුම දෙයක් තියනවා මේ කියන ලස්සන ගැන. අපි කවුරු හරි දැක්කම කට පුරා කියනවා "අනේ! ඔයා අද හරිම ලස්සනයි". ඒකෙ නම් ඒ හැටි වැරැද්ද්ක් මං දකින් නෑ. එත් ඒක කියන කෙනා හිත පුරාම ඒ අදහස තියාගෙන කියනව නම් තමයි ඒක වටින්නෙ. තවත් කෙනෙක් දිහා ඉරිසියාවෙන් බලලා බොරුවට තවත් කෙනෙක් වර්ණනා කරනවා නම් ඒකෙන් වෙන්නෙ තමාම රැවටෙන එක. ඒකෙන් අර කියපු කෙනාට නැති වෙන දෙයක් තියනවද? නෑ නේද? ලස්සනයි කියනවා වගේම තමයි ඒකෙ අනිත් පැත්ත. මගේ මතය තමයි කවදාවත්ම කෙනෙක්ගෙ අඩුපාඩුවක් නිසා ඒ කෙනාව පහත් කොට සලකන්න හොද නෑ. කෙනෙක් අවලස්සන ඇති, තමාට සාපේක්ෂව ලස්සන නැතුව ඇති. ඒත් කවමදාවත් මොනම හේතුවක් නිසා ඒ කෙනාට ඒක අගවලා එයාව පහත් කොට සලකන්නවත්, එයාගෙ අඩුපාඩු කියන්නවත් යන්න එපා. ඒක ඒ කෙනාගෙ මුළු ජීවිතේටම වුනත් බලපාන්න පුළුවන්. අපි කියන එක වචනයක් නිසා එයාගෙ මානසිකත්වය පහතටම කඩා වැටෙන්න පුළුවන්. එයාට එයාගෙ මුළු ජීවිතේම එපා වෙන්නත් පුළුවන්. අපිට ඒ කෙනෙක්ගෙ හිතක් හදන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් ඒ කෙනාගෙ හිත තවත් කඩා වට්ටන්නෙ නැතුව ඉන්න. සමහර අය මේ ලස්සන අවලස්සන කියන දේ තම තමන්ගේ වාසියට පාවිච්චි කරනවා. තමන් කෙනෙක්ට අකමැති නම් ඒකට හේතුවක් විදියට මේ අවලස්සන කියන දේ පාවිච්චි කරනවා. ඒක නම් හරිම වැරදි දෙයක්. කියන කෙනාට ඒක එක වචනයක් පමණක් වෙන්න පුළුවන්. ඒ වුනාට අර පුද්ගලයා හිතන්න ගන්නවා මුළු සමාජයම දැන් එයා දිහා බලන්නෙ ඒ විදියට කියලා. ඒ කෙනා ඒ හේතුව නිසා තමන් විසින්ම තමාවම අවතක්සේරුවට ලක් කරගන්න පටන් ගන්නවා. ඒක එයාගෙ මානසික තත්වයට තදින්ම බලපාන්න පුළුවන්.
අවසාන වශයෙන් ඉල්ලන්නම් එක ඉල්ලීමක්. කවදාකමවත් කෙනෙක්ගෙ දුර්වලතාවයක් විහිලුවකට ගන්න එපා. විහිලුවටවත් ඔයාල කියන පොඩි දේකින් කෙනෙක්ගෙ හිත අපි නොහිතන තරම් රිදෙන්න පුළුවන්. අපි හැමෝටම කෙනෙක්ගෙ හිත් හදන්න පුළුවන් හැකියාව නෑ. ඒත් අපිට පුළුවන් ඒ කෙනාගෙ හිත නොරිදවා ඉන්න. අන්න ඒ පුංචි ඉල්ලීම පුළුවන් නම් ඉටු කරන්න මේක කියවන අය.
අපිට පුළුවන් තරමින් හැමෝටම ජීවත් වෙන්න ආස හිතෙන සමාජයක් ගොඩ නැගීමට අපේ පුංචි හරි දායකත්වයක් දෙමු.