Tuesday, April 11, 2023

ගොළු වූ හද...

බලාගත් අත බලාගෙන මම
ගෙව්ව අන්තිම දවසේ රෑට
කවියකට පද මුමුණන්නවත්
බැරිව ලත වුණි ගාට ගාට...

ඇසින් රූරන කඳුළු බිඳුවක
තිබුණෙ අප විඳි පෙම් පුරාණ
ගොළු වුයෙමි මම ඔබේ වදනට
අවසනයි අපෙ බජනෙ රෑට...

කවුරුවත් දන් නැතුව පෙම් කර
දුකක් කියනුද කාට කාට
ඔබට ළං වී වින්ද පෙම රහ
නැතිව අද ඇත විරහ පාට...

පතමි පැතුමක් විරහ දුකකින්
අකුරු කර නුඹ ගැන මෙදාට
මතක ඉතිරිව පෝරුවට නැග
සිනහ වී ඉනු මඟුල් දාට...

කෙලෙස පතමිද තවත් පැතුමක්
හදවතම ගොළු වෙලා රෑට
ඊයෙ රෑ වගෙ රැයක් එන්නෙපා
තිබෙන තුරු මගෙ ජීවිතේට...

Thursday, August 18, 2022

මිහිදුනු ආලය...

හද පතුලේ ගැඹුරුම තැන
මිහිදන් කළ ඒ ආලය
කිමක්ද කවදා
කෙලෙසක ඇරඹිද
කෙසේ ඇතිවීද
ඔබද මමද
නිරුත්තර වූ
මේ පැන
අපි නොඅසා ඉමුද
තවත් දවසක
හවසක එක්
නිමේෂයක
ඔබ දක්නට
ඇත් නම්
නැවත මා පැමිණේවි
දුක සතුට බෙදා ගන්නට
එදා ලෙසටම
නමුදු කාලයේ
ගමනාන්තය
අපට ඊට
ඉඩ හසර
සලසා දෙයිද???



Tuesday, March 1, 2022

දික්කසාද අවනඩුව...

තබන විට අත්සනක්
හිත ගියා හුඟ දුරක්
නොදැනීම කාලයක්
අපි අපේ වුණ වගක්

සුදු පාට සාරියට
නුඹ හැඩයි සිතුණාට
මගේ වුවමනාවට
අත්සනද තැබුවාට

හැරී මා දෙස බලා
එදා නුඹ හැර ගියද
දුකයි අද මැණිකෙ
කෙලෙස දුක නිවන්නද

ඉවසීම දුර ගියා
පසුතැවෙමි අද මෙමා
කාමරය හැඩි වෙලා
හිත මගේ ගොළු වෙලා

පිරි මතක මගෙ හිතේ
කෙලෙස මා මකන්නද
නුඹ නැතිව ජීවිතේ
කෙලෙස මා ගෙවන්නද

කෑ ගැසුව එදා මං නුඹ එපා කිය කියා
ඇස් කිව්වෙ ආදරේ අඩුවකුත් නෑ කියා
වැටහුණා පමා වී ඇස් කියූ දේ එදා
පලක් නෑ දැන් පමා වී නුඹ ගියා...

Monday, February 7, 2022

තාත්තේ ඊළඟ නිවාඩුවටවත් ගෙදර එන්න...

ක්‍රියාන්විත රාජකාරියේ නියුතු පියාණන් හට සිය සිඟිති දියණිය විසින් ලියන ලද ලිපියක්...


මව් තුරුලේ හිඳ
මෙලොව එළි දුටු දා
කිමද නොසිටියේ නුඹ
ඇස් මානයේ එදා

දින සති මාස ගතවී
හිරු පෑයූ දා
ඔබ සිටියා මගෙ ලොව
හිරු කිරණ නියා

ඔබ තුරුලට ගෙන මා
නැලවූව එදා
අමතක නොවේ
ලද උණුහුම කිසිදා

ඔබ දැන සිටියද
මා කෙතරම් ආසා
කළ බව ඔය උකුළේ
නැලවෙන්න සදා

පාසල ඇරී කඩිමුඩියෙම
දිව එන්න
ඔබ අත එල්ලී
පිය මැනගෙන යන්න

මතකයි බලා උන් හැටි
ඔබ හමු වෙන්න
පිසිමින් කඳුළු
ගලනා මව්ගේ දෙඇස

පින් මදි වීද මන්දා
සිත් සැනසෙන්න
තුරුලට වෙලා පිය උණුහුම 
විඳ ගන්න

තේජස පතුරවා
අප රට රැක ගන්න
ඔබ තරම් වීරයෙක්
නැත මට ලෙස රටට

සැමගේ සිහින
ඒ ලෙසටම ඉටු වෙන්න
පතනෙමි ඔබ තව 
තවත් වැජඹෙන්න

නිදහස අරන්
මගෙ රට බේරා ගන්න
ආපසු නොගොස්
මගෙ තුරුලට වී ඉන්න


Saturday, January 8, 2022

මිනිස් සිනහව...

මිනිස්සු හිනා වෙලා ඉන්න තරමට හිතන්න එපා ඒ මිනිස්සු ගොඩාක් සතුටින් ඉන්නෙ කියල... සමහර වෙලාවට හයියෙන්ම හිනා වෙන්නෙ හිත ඇතුලෙ ප්‍රශ්න ගොඩක් හිර කරගෙන ඉන්න හිත යටින් කඳුළු වගුරවන මිනිස්සු...😔😓--->😂🤣

Wednesday, December 1, 2021

අමාවක අහස...

අමාවක අහසට 
නුබ ගැබ පාළු මැකුමට
තරු පොකුරු සිටියට
පසලොස්වක දාට
තරු කුමට නුබ ගැබට... 

නුබ ගැබ පෑයූ සඳට
තරු තනිය මැකුවට
ලොවක් එළි මවන
හිරුගෙ තනි මැකුමට
අයෙක් නෑ කිසි මොහොතක...

ඉදින් නුඹ තැවෙනු කුමට
තනියෙන් කියා ඔය ලෙසට
නුඹ නොදන්නවා වුනාට 
ලොවක් බබලවනු නියත
දිනය පැමිණිනු විගස...

Tuesday, November 2, 2021

අඳුර නිවනු වස්...

අමාවක දාට 
නුබ ගැබ සනසන්ට
තරු වටින නමුදු
පසලොස්වකට
තරු කුමටද සොඳුරු...